...

mercoledì 10 marzo 2010

විවාහයට ඇතුළත් වන විට
දෙදෙනාගේ විවාහ පරතරය
කොතරම් වැදගත්ද

පෙම් සබඳතා ඇතිකර ගැනීමේදී එකිනෙකා අතර වූ වයස්‌ පරතරය ගැන හැඟීමක්‌ නොවේ. එහෙයින් බොහොමයක්‌ ම ඒ ගැන නොසිතති. පෙම් සබඳතාවක්‌ ඇතිකර ගැනීමේදී බොහෝ වයස්‌ පරතරයක්‌ තිබුණද, එහි වෙනසක්‌ නොදකින්නේ දෙදෙනා ම ආදරයෙන් උමතුව සිටීමෙනි. දෙදෙනාට ම ඇතිවන එකම හැඟීම වන්නේ දෙදෙනා සමීපවිය යුතු බව හා ආදරය කළ යුතු බවයි. එකිනෙකාගෙන් වෙන්වීමට ඇති ලෝභකම හා දෙදෙනාගේ සිත් අතර ප්‍රබල බැඳීමක්‌ ඇතිව තිබීමෙන් වයස්‌ පරතරය මත අනාගතයේදි ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් තැකීමක්‌ නොකෙරේ. එයට අමතරව, බොහෝ වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනෙකු ආදරයෙන් බැඳෙද්දි වයසින් වැඩි පුද්ගලයාගේ සිත ආදරයෙන් මත්ව තිබීමෙන් ඔහු හෝ ඇය හැසිරෙන්නේ, අනෙකාටද වඩා ළාබාල අයෙකු ලෙසිනි. මන්ද ඔහු හෝ ඇය ලද ඔබ ආදරය හේතුවෙන් යළිත් වරක්‌ නව යෞවනයට ආපසු ගමන් කිරීමක්‌ සිදුවේ. ඒ තරමටම ඔවුන්ගේ සිත් සුන්දර වේ. එහෙයින් දෙදෙනාට හැඟෙන්නේ සම වයසේ සිටින්නන් ලෙසින් වන අතර, අනාගතයේදි වයස්‌ පරතරය හේතුවෙන් කිසිදු ගැටළුවක්‌ ඇතිවීමට මඟක්‌ නොවේ යෑයි හැඟේ. තවද විවිධ විෂයයන්ට උපතින්ම දක්‌ෂතා පෙන්නුම් කරන්නන් සිටින්නා සේම, ආදරය කිරීමටද සහජ හැකියාවක්‌ හිමි පුද්ගලයෝ වෙති. එවන් ගැහැනුන් සේම පිරිමින්ට තමා කොතරම් වියපත් වුවද, නව යෞවනයෙකු සේ ආදරය කිරීමට හැකිවීම ඔවුන්ගේ සුවිශේෂත්වයකි. එසේ වුවද, එකෙකු අනෙකාට වඩා පසුකාලීන දිවියේදි කායිකව දුර්වලවීම මත එම හපන්කම්ද ඔවුන්ගෙන් ගිලිහී යැමට හැක.

අනාගතයේදි

වයස්‌ පරතරය වැඩි දෙදෙනෙකු ආදරයෙන් බැඳීම හා එය තුළින් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනාගතයේදි දෙදෙනා අතර යම් ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුවක්‌ විය හැක. එහෙයින් ඒවා මොනවාදැයි වටහා ගෙන තිබීම බොහෝ යහපත් වේ. එමෙන්ම වර්තමානයේදි දෙදෙනා අතර කිසිදු ගැටළුවක්‌ නැතිවීමෙන්, අනාගතයේ පැවැත්මද එසේ යෑයි සිතීම අනුවණවූවකි. මන්ද වියපත්වීමේ ප්‍රවණතාව මත කායික හා මානසිකව පිරිහී යැම සිදුවන්නේ වෙනස්‌ අන්දමිනි. එහෙයින් විවාහවීමට සුදුසු වයස්‌ පරතරය විමසා බැලීම බොහෝ වැදගත් වේ.

වෛද්‍ය විද්‍යාත්මකව සේම මනෝ විද්‍යාත්මකවද විවාහයට සුදුසු වයස්‌ පරතරය සේ දක්‌වන්නේ, ගැහැනිය පිරිමියාට වඩා අවුරුදු 2 සිට 6 දක්‌වා ප්‍රමාණයකින් ළාබාල විය යුතු බවය. මෙම වයස්‌ සීමාවන් හඳුන්වා දී ඇත්තේ හේතු කිහිපයක්‌ම මතවන අතර, ඒවා කෙරෙහි සැලකිලිමත් විය යුත්තේ ඇයිදැයි පසු පරිච්ඡේදයන්ගෙන් ඔබට පැහැදිලි වේ.

ගැහැනුන්ගේ වියපත්වීම

ගැහැනිය, පිරිමියාට වඩා වේගයෙන් වියපත් වීමක්‌ සිදුවේ. විශේෂයෙන්ම දරුවන් ලැබීමෙන් ඇය ශීඝ්‍රයෙන් මානසිකව හා කායිකව වියපත් වීමකට ලක්‌ වේ. එහෙයින් අවුරුදු 2 සිට 6 දක්‌වා වයස්‌ පරතරයක්‌ තිබියදී දෙදෙනාගේ වියපත්වීමේ ස්‌වභාවය සමාන තත්ත්වයකට පත් වේ. එමෙන්ම බොහෝ පිරිමින් ලිංගිකව වඩාත් ක්‍රියාකාරී සේම එම අවශ්‍යතාව වැඩිපුර අවශ්‍යවන්නේ ඔහුගේ වයස අවුරුදු 40 පසුකිරීමත් සමඟ ය. බටහිර රටවල මෙම තත්ත්වය හඳුන්වා දෙන්නේ භ්මටයඑහ Fදරඑහ යනුවෙනි. එනම් වයස අවු.40 පසුකිරීමත් සමඟම පිරිමින්ගේ දඟකාරබව වැඩිවීමක්‌ පෙන්නුම් කෙරේ. නමුත් නිවැරදි වයස්‌ පරතරයක්‌ යටතේ විවාහ දිවියට ඇතුලත් වීමෙන් මෙම තත්ත්වය යටතේ මතුවිය හැකි ගැටළු අවම වන්නේ ඇයද තම ලිංගික දිවියෙහි උපරිම තලයක සිටීමෙනි.

මෙම පදනමට එරෙහිව

මෙම පදනමට එරෙහිව කටයුතු කළවිටදී මතුවිය හැකි ගැටළුද බොහොමයකි. මුලින්ම අප වයසින් අඩු තරුණියක්‌, තමාට වඩා වයස අවු. 12 කින් පමණ වයසින් වැඩි පිරිමියෙකු සමඟ විවාහවීමෙන් උද්ගත විය හැකි තත්ත්වයන් අධ්‍යයනය කරමු. මෙම විවාහය දෙස බලද්දි 25 හැවිරිදි යුවතිය විවාහ දිවියට ඇතුළත්වන්නේ 37 හැවිරිදි පුද්ගලයෙකු සමඟිනි. මෙම වයස්‌ පරතරය යටතේ ආදරය කිරීම හා විවාහ දිවියට ඇතුලත්වීම වරදක්‌ යෑයි පෙන්නුම් නොකෙරේ. මන්ද 37 හැවිරිදි පිරිමියෙකු සිටින්නේ තම කායික හා ලිංගික ශක්‌තියේ උපරිමයෙහි ය. එවිට ඔහුට තරුණයෙකුට වඩා ප්‍රබලව ආදරය සෙනෙහස පෑම සේම ලිංගිකව හැසිරීමටද හැකිය. එහෙයින් මෙම වයසේදි ආදරය කිරීමේදී සේම විවාහ දිවියට ඇතුළත් වීමේදී, එම යුවතියට ඔහු තරුණයෙකු සේ හැඟේ. කිසිදු වෙනස්‌කමක්‌ දක්‌නට නොලැබේ.

නමුත් මෙම ගැහැනිය තමාගේ ලිංගික දිවියෙහි උච්චතම අවස්‌ථාවට එනම් වයස අවු. 38 ට පැමිණෙද්දි, ඔහුගේ වයස අවු. 50 කි. මෙම අවස්‌ථාව වන විටදි ඔහුට දියවැඩියාව, රුධිර පීඩනය හෝ කොලෙස්‌ටරෝල් තත්ත්වයක්‌ ඇතිවී තිබුනොත් ඔහුගේ ලිංගික දිවියෙහි යම් අඩපණවීමක්‌ ඉස්‌මතුව තිබීමට හැක. එය යම් ප්‍රමාණයක අර්බුදයක්‌ වන්නේ, ඇයගේ උවමනාවන් නිවැරදිව ඉටු නොවීම නිසා ය. එහෙයින් ඇය යම් පීඩනයකට පත්වන්නී ය. ඒ අයුරෙන්ම 42 හැවිරිදිව සිටියදිද, ඇය ප්‍රබල ලිංගික අවශ්‍යතාවන් සහිතව සිටින්නිය. නමුත් ඒ වනවිටදි ඔහුගේ වයස 54 ක්‌. ඔහු අයත්වන්නේ වියපත් පුද්ගලයෙකු හෝ විශ්‍රාමිකයෙකුගේ තත්ත්වයට ය.

පිරිමින්ටත් මෙවැනිම ගැටළුවක්‌

ඇතැම් තරුණයන් තමාට වඩා වයස අවු. 7 කින් පමණ වැඩිමල් කාන්තාවන් සමඟ ආදරයෙන් බැඳි විවාහ දිවියට ඇතුලත්වීමක්‌ සිදු කරන අවස්‌ථා එමට ය. මෙහිදි දෙදෙනාගේ වයස පරතරය එතරම් විශාල නොවුවත් ගැහැනියගේ වේගවත් වියපත්වීම ඉදිරියේ ගැටළු ඉස්‌මතු කෙරේ. මෙවැනි විවාහයකදි පිරිමියාගේ වයස අවු 35 හෙවත් පිරිපුන් පිරිමියෙකු බවට පත් වූ විටදි, ඇය 42 හැවිරිදිය. මෙම වයසේදි බොහෝ ගැහැනුන් ශාරීරික පෙනුමෙන් පවා ප්‍රබල වෙනසකට ලක්‌ව තිබීමට හැක. එහිදී ඔහුට පැහැදිලිවම හැඟෙන්නේ ඇය තමාගේ "පුංචි අම්මාගේ" තත්ත්වයට පත්ව ඇත යන්නය. එහෙයින් දැඩි ලිංගික ක්‍රියාකාරිත්වයක්‌ ඔහු පෙන්නුම් කිරීමෙන් එයට ගැළපෙන තත්ත්වයක ඇය නොසිටීම බරපතල වරදක්‌ බවට පත් වේ.

සමාජමය ගැටළුවක්‌

වයස්‌ පරතරය වැඩි දෙදෙනෙකු අතර විවාහයක්‌ සිදුවීමෙන් කල්යත්ම දෙදෙනෙකුගේ පෙනුම පිළිබඳව සමාජයද උනන්දුවක්‌ දක්‌වයි. එහෙයින් සමාජය විසින්ම දෙදෙනාගේම සිත්වලට ඇතුළු කරන අදහසවන්නේ, කායිකව දෙදෙනා නොගැළපෙන බවකි. මෙම පදනමේ සිට සමාජය විසින්ම එම යුවලගෙන් ළාබාල අයට යම් යම් ආකාරයක "ලිංගික යෝජනා" ඉදිරිපත් කිරීමක්‌ සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ, මෙවැනි විවාහයක වයසින් බාල පුද්ගලයා තුළ ඇති පීඩනය පුපුරා යැමය.

වැඩි වයස්‌ පරතරයක්‌ සහිතව දෙදෙනෙකු විවාහ වෙද්දි කොතරම් ප්‍රබල ආදරයකින් පසුවුවද, පසුකාලීනව ඔවුන් අනියම් සබඳතා ඇතිකර ගැනීමට පෙළඹෙන්නේ එහෙයිනි. සමාජමය හා කායික වශයෙන් ඔවුන්ට ඇතිවන පීඩනය ඒ සඳහා පෙළඹවීම් කෙරේ.

සැකකිරීමක්‌

වැඩි වයස්‌ පරතරයක්‌ යටතේ විවාහ දිවියට ඇතුළු වූ දෙදෙනෙකු ගෙන් අයෙකු නොයෙක්‌ වියපත්වීම මත ඔහු හෝ ඇයටද තම නොගැළපීම් වැටහේ. එවිට ඔහු හෝ ඇයට සිතෙන්නේ, අනෙකාගේ සිතට යමෙකු ඇතුළු වීමට හැකිබව සේම ඒ සඳහා ඔවුන්ට සුදුසුකම් තිබේය යන්නය. මෙහිදී අනෙකා තමාට වඩා තරුණ, ශක්‌තිමත් හා රූමත් බව හැඟෙද්දි වැරදි සබඳතාවක්‌ නොතිබුණද ඔවුන්ව එය සම්බන්ධයෙන් සැක කිරීමට සිත් වේ. ඒ සමඟම සබඳතාව තුළ ප්‍රබල නුරුස්‌නා බවක්‌ වර්ධනය වීමෙන් දෙදෙනාගේ සිත් දුරස්‌වීමක්‌ද ඇතිවේ.

මෙම තත්ත්වය මෙවැනි පදනමක්‌ මත විවාහවන්නන්ට අතිරේක පීඩනයක්‌ ලබා දෙන්නකි. එය විවාහය ප්‍රීතිමත් බවින් තොර වීමට හේතුවකි.

දරුවන්ටත්

වැඩි වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනෙකු විවාහ දිවියට ඇතුලත්වීමේ ගැටළුව, එම යුවලගේ දරුවන්ගේ සිත්වලටද බලපානු ඇත. මන්ද යම් ගැහැනියක වියපත් පිරිමියෙකු සමඟ විවාහ වූ විටදි එම පවුලෙහි දරුවන් නව යෞවනයට එළැඹෙද්දි පියාගේ පෙනුම තම සීයාගේ පෙනුමට සමාන වේ. උදාහරණයක්‌ ලෙසින් වයස අවු. 25 ක යුවතියක්‌ වයස අවු. 35 ක පුද්ගලයෙකු සමඟ විවාහ වූ විටදි, ඔවුන්ගේ දියණිය 14 හැවිරිදි වෙද්දි මවගේ වයස සාමාන්‍යයෙන් 40 හැවිරිදි වේ. එවිට පියාගේ වයස අවු. 50 ඉක්‌මවා ගිය කොණ්‌ඩය පවා සුදු වූ පුද්ගලයෙකි. මෙය සම්බන්ධයෙන් දරුවන්ගේ මිතුරු මිතුරියන් ප්‍රශ්නකිරීම මත පියාව දුරස්‌ කරන තත්ත්වයක්‌ උදාවීමට හැක. තම පාසල අද්දරට එවැනි වියපත් පියා පැමිණෙනු දැකීමට ප්‍රිය නොවූ දියණියක්‌ මම දනිමි. එවැනි අය කිසිසේත්ම අපේක්‌ෂා නොකරන ගැටළුවද මෙවැනි විවාහයක්‌ තුළ ඉස්‌මතු වේ.

එයට අමතරව වැඩි වයස පරතරයක්‌ තිබීමෙන් රෝගිවීම් සම්බන්ධයෙන්ද බලපෑමට හැක. වර්තමාන ආයු කාලයට අනුව මිනිසෙකුගේ පොදු වයස වන්නේ අවු. 60 ක්‌ පමණි. දරුවන් වයසකට පැමිණීමට පෙර, වයස්‌ පරතරය හේතුවෙන් වියපත් පුද්ගලයාගේ යම් වියෝවීමක්‌ සිදුවුවොත්, එය අනෙකා අසරණ කිරීමකටද හේතුවේ.

ප්‍රදීප් කුමාර බාලසූරිය

Nessun commento:

Posta un commento